Sunday, August 5, 2018

ආම වාතය අපිම හදාගන්න ලෙඩක්



අද අපි යන්ත‍්‍ර වෙලා. ඔහේ උයනවට උයනවා. බඩ පිරෙන්න ගන්න තිබ්බොත් ඒ තියෙන මොනවාම හරි කනවා. පෝෂණය ගැන වගක්වත් නෑ. ඇයි අපිට නිදහසක් නෑ. නිදියගන්න තියෙන පැය 5 - 6 විතරයි විවේකී. ඒත් හෙට දවසේ වැඩ ගැන මතක් වෙනකොට නින්ද යන්නෙත් නෑ. මේ කාර්ය බහුලත්වය නිසාම අපේ ජීවන රටාවේ වෙනස්කම් සිදු වෙලා. සමහර දේවල් සීමා කරන්නත් වෙලා. අවාසනාවකට මේ හැම දෙයකට ම වගේ අපි අපේ ආහාර වේලටත් සීමාවන් පනවනවා ගෙන. බොහෝ දෙනකු උදේට කන්නෙ නෑ. කෑවත් කන්නේ පාන් පෙත්තක් දෙකක් බටර් ටිකක් හරි ජෑම් ටිකක් හරි ගාගෙන. කඩේකින් කෑවත් පාන් පිටි කෑම. දවාලට ඔහේ මොනව හරි එකක් දෙකක් එක්ක බත් එක ගේනවා. බඩගින්නට කනවා ඇරෙන්න පෝෂණයක් ගැන හිතන්නෙ නෑ. ඒකෙ වැඩි හරියක් තියෙන්නෙ ලේසියෙන් හදන්න පුළුවන් කෑම ජාති. තෙල් දාලා හදලා තියෙන නිසා කටට රසයි. ඒ තෙලුත් දෙපාරක් තුන් පාරක් බැදගත්තු ලිපේම රත්වෙච්ච තෙල්. ඒත් ගුණයක් නම් ඇත්තේම නෑ.  තවත් සමහර දෙනා දවල්ට බත් කන්නෙ නෑ. ඒ බත් කෑවම නිදිමත හැදෙන නිසා. එහෙම වුණොත් ඒක රාජකාරියට බාධාවක්. ඒ නිසා දවාලට ඔය මොනව හරි කෙටි කෑමක් කාලා පැණි බීම එකක් බොනවා. ගෙදර ගිහින් හොඳට බත් කනවා කියලා හිතනවා. ඒත් හවසට ගෙදර යන කොට හතත් පහු වෙලා. බිරිඳත් රැකියාවට යන නිසා හවසට එයා ගෙදර එන්නෙත් මහන්සි වෙලා. ඉතින් එහෙම තත්ත්වයක් උඩ බත් උයන්න කියන්න බෑ. ඒ හින්දා  ආප්ප, ඉදි ආප්ප, ෆ‍්‍රයිඩ් රයිස්, පිට්ටු වගේ මොනවහරි දෙයක් කඩෙන් ගෙනත් කනවා. මොකද පොඩි අයත් ඒවගේ දෙයක් කන්න ආසයි. ඒ දරුවොත් බත් කන්න ආස නෑ. ආස නෑ කිව්වට, අපි එහෙම පුරුදු කරලා නෑ කිව්වොත් ඒක වඩාත් නිවැරදියි. පුංචි කාලෙ ඉදන් ම ඒ දරුවන්ටත් පහසුවට වෙන වෙන දේවල් කන්න බොන්න පුරුදු කරලා. ගුණයක් නෑ. රස විතරයි. මුදල් වියදම් වෙනවා. දරුවො ලෙඩ වෙනවා. සිද්ධ වෙන්නෙ එච්චරයි.

සති අන්තෙ ගෙවෙන්නෙත් මේ විදිහටමයි. සතියේ දවස් පහම මැෂින් වගේ වැඩ කරන නිසා පොඩි විවේකයක් තියෙන්නෙ සෙනසුරාදා සහ ඉරිදා විතරයි. සෙනසුරාදා දවසම දෙන්නම එකතුවෙලා ගෙවල් අස්පස් කරලා රෙදි සෝදලා ඉතිං එදාටත් උයන්න වෙලාවක් නෑ. ඔහේ මොනව හරි රත්කර ගෙන කනවා. වෙනසකටත් එක්ක ඉරිදට ගෙදර ඔක්කොමලා පොඩ්ඩක් විනෝද වෙන්න කියලා ගෙදරින් පිට යනවා. ගිහින් හොඳට තෙල් ජාතිදාපු, සෝස් දාපු, ලවන දාපු කෑම කනවා. කොච්චර කනවද කියනවනම්  කන්න බැරි තරමට බඩ පිරෙනකම් කනවා. ඉතිං උයලා අපරාදෙ. කෑම අහක යනවා. ඒ හින්දා උයන්නෙ නෑ. කෙටි කෑමක් කාලා ෂේප් වෙනවා. සතිය ගෙවෙන්නෙ ඔහොමයි.

ඒත් මීට දශක දෙක තුනකට පෙර මෙහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. අපිට අපේ කියලා ආහාර වේලක් තිබුණා. එදා බොහෝ දෙනා උදේට බිව්වෙ කොළ කැඳ එහෙමත් නැත්නම් ලුනු කැඳ. මේ ලුනු කැඳවල ගුණ 10 ක් ද බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. උදේට කැඳ කෝප්පයක් බොන එකේ වාසි හුඟක් තිබුණා. ආහාර දිරවනවා, මුත‍්‍රා පහ වෙනවා, මළ පහවිම පහසුවෙනවා, රුධිරය පිරිසුදු වෙනවා, ශරීර ශක්තිය ලැබෙනවා, දවස මුළුල්ලේම කි‍්‍රයාකාරී වී සිටින්නට හැකියාව ලැබෙනවා. උදේ කැඳ කෝප්පෙ බීලා පැයකින් දෙකකින් තමයි උදේ ආහාරය ගත්තේ. හීල් බත්, දියබත්, මුදවපු කිරි බත් සමඟ, කුරක්කන් රොටි, තලප ආදියයි උදේ ආහාරයට තිබුණෙ. දවාලට බත් නම් වරදින්නෙ නෑ. නිවුඩු හාලෙ බත්, ව්‍යාංජන දෙක තුනක් සමඟ, කොළ මැල්ලුමක්, සමඟ ඇඹුලට පිසගත් දෙයක් එක්කර ගත්තා. අතුරුපසට මුදවපු කිරි වරදින්නේ නෑ. කරවල, මාළු වගේ දේවල් ආහාරයට ගත්තෙ ඉද හිට.

රාති‍්‍රයට වුණත් කෑවෙ බත්. ව්‍යාංජනයක් දෙකක් එක්කර ගත්තත් ඒවා බර ආහාර වුණේ නෑ. එදා තුන් වේලම සමබර විදිහටයි ආහාර ගත්තෙ. ඒත් අද තත්ත්වය වෙනස් වෙලා. සෑහෙන්න වෙනස් වෙලා. එදා මධුමේහය, කොලෙස්ටෙරෝල් කියන ලෙඩ ජාති අහන්නවත් ලැබුණෙ පොල්, තෙල්, නිතර ආහාරයට එක්කර ගත්තා. ඒත් ප‍්‍රශ්න ඇති වුණේ නෑ. හැබැයි අදත් අපේ ආච්චිලා සීයලට මේ වගේ ලෙඩ නෑ. ඒ අය නිරෝගිය. බුලත් අතේ මුදලක් තබා ඇති හැකි පමණින් වෙද මහත්තයගෙන් බේත් ගත්තු ගැමියා චැනල් සර්විස් එකට, ලැබ් එකට, ෆාමසියට සල්ලි ගෙවා බඩගින්නේ ඉන්න තත්වයට පත් වෙලා. අද ඈත පිටිසර ගමක කඩයකට ගියත් විකුණන්න තියෙන්නෙ බටහිර ආහාර පාන වර්ග. මෙයට වැඩියෙන් ම බලපාලා තියෙන්නෙ ප‍්‍රචාරණය කිව්වොත් නිවැරැදියි. මේ ප‍්‍රචාරණයට අපි මුලාවෙලා. බහතෝරනවියේ දරුවන් මුලාවෙලා.

මේකෙ ප‍්‍රතිඵලය වෙන්නෙ අපේ ජාතිය රෝගීන් වීමයි. වයස අඩු අය එහෙමත් නැත්නම් තරුණ පිරිස අතර මධුමේහය, රුධිර පීඩනය, වකුගඩු ආබාධ, හෘදය ආශ‍්‍රිත ආබාධ වසංගතයක් වගේ පැතිරිලා. ඒත් එක්කම ආහාර පරිහරණ ව්‍යුහයේ රෝග වගේම මානසික ආතතියත් වැඩි වෙලා. අද වෛද්‍ය විද්‍යාව දියුණු නිසා ඕන තරම් ලෙඩ රෝග සොයා ගැනෙන පරීක්ෂණ තියෙනවා. මුදල් හදල් ඇති අය මේ පරීක්ෂණ කර ගන්නවා. සමහර විට ලෙඩක් නැතිව නිකනුත් පරීක්ෂණ කර ගන්නවා. ඒත් මුදල් හදල් නැති අයට මේවා කරගන්න විදිහක් නෑ. ඉතිං ඒ අයගෙ රෝග තත්ත්ව නොදැනීම වැඩි වෙනවා. ඇති අය රැකෙනවා. නැති අය රෝගී වෙනවා. ඒත් අපේ සරල දිවි පෙවෙත, ඒ කියන්නෙ ආහාර හා වියරණ පුරුදු එදා විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් මේ වගේ රෝග අපට ඇති නො වෙන්න ඉඩ තිබුණා. සමාජයේ උගත් පිරිස යමක් කමක් ඇති අය රෝග පිළිබඳ දැනුමක් තියෙන හින්දා ආහාර ගැනීමේදී සැලකිලිමත් වෙනවා. ඒ අය මේදය, පිෂ්ඨය, සීනි වගේ ආහාර ගන්නෙ පාලනයක් ඇතිවයි. ඉතිං ඒ අයට රෝග වැළැදෙනවත් අඩුයි. ගැටලුව තියෙන්නෙ එතන නෙමෙයි. නූගත් පිරිස අතරයි. හේතුව වෙළෙඳ ලෝකයේ අද ප‍්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නෙ මේ නූගතුන්. ඉතිං මේ ප‍්‍රචාරණයට නූගතුන් රැවටෙනවා. ඒවා මිලදී ගන්නවා. කනවා බොනවා. ඊට පස්සෙ ලෙඩ වෙනවා. මස්, මාළු ආදියෙන් හදන කෑමවලට රසායනික දේ දානවා. ලවණ වර්ග දානවා. දියුණු රටවල නම් මේ වගේ කෑම හදන්න ප‍්‍රමිතියක් තියෙනවා. ඒත් ලංකාවේ එහෙම ප‍්‍රමිතියක් නෑ .ඉතිං ඒ නිසා මේ කෑම කන අය ලෙඩ වෙනවා. විශේෂයෙන්ම වයසට කලින් වයසට යනවා. බැලූ බැල්මට වයසට ගිහින්.

අපේ ශරීරයට ලවණ අවශ්‍යයි. ඒත් මේ කෑම ජාතිවලට දාලා තියෙන ලවණ ප‍්‍රමාණය වැඩියි. මේ නිසා නොදැනුවත්වම ශරීරයට ලවණ වැඩි වෙනවා. අද අපි ආහාර ගන්නා ක‍්‍රමය වුණත් වැරැදියි. නිතර නිතර අපි ආහාර ගන්නවා. ඒ නිසා ආමයඇති වෙනවා. ආමය කියන්නෙ ආහාර නොදිරවීමය. අද සමාජයේ බහුලව ම දක්නට ලැබෙනා කරදරකාරී රෝගයක් ලෙස මෙකී රෝග තත්ත්වය පෙන්වා දිය හැකි ය. දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අනුව බඬේ ඇඹුල් පිතලෙස හඳුන්වන මෙකී රෝගී තත්ත්වය ආයුර්වේද ග්‍රන්ථයන්හි පෙන්වා දී ඇත්තේ මෙසේ ය.

විදග්ධ පිත්තං අම්ල පිත්තං’. එනම් අප නො දන්නා, අප ගන්නා ලද ආහාරය ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර වන පාචක පිත සමඟ නිසි ආකාරයෙන් නො පැසී පල් වීම නිසා මෙකී අම්ල පිත්ත රෝගී තත්ත්වය පැන නගී. විශේෂයෙන් ම මෙහි දී දූෂිත වන්නේ පිතයි. එහෙත් වාතය හා සෙම ද මෙයට සම්බන්ධ වේ. ආහාර ජීර්ණ පද්ධතියේ මෙකී දුර්වලතාවය හේතු කොටගෙන අග්නිමාද්‍ය නිසා නො පැසුනු යම් ආහාර රසයක් වේ ද එය ආම රසයලෙස ආයුර්වේදයේ පෙන්වා දී ඇත. එය ශරීරයේ උද්ගත වන දරුණු විෂ තත්ත්වයක්.

අපේ ශරීරයේ ඇතිවන හැම ලෙඩකටම මූලිකම වෙන්නෙ ආමය කියල ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙන්නෙ. හොඳ පත්‍ය ආහාරයක් නියම මාත‍්‍රාවෙන්, නියම වෙලාවට අනුභව කරන්න ඕනෙ කියලයි. ආයුර්වේදයේ සඳහන් ආහාර ගන්නා අවස්ථාවේදී ඒ කෙනාගෙ මනස භය, ශෝකය, උද්වේකර අවස්ථා, ඊර්ෂ්‍යාව - ක්‍රෝධය වගේ දේ වලින් සමන්විත වූණොත් ඒ ආහාර දිරවන්නෙ නෑ. එහෙම වුණොත් ආමය ඇති වෙනවා. අම්ල පිත්ත රෝගය ඇති වෙන්නෙත් ආහාර නිසාම යි. ආහාර දිවන්නේ නැතුව බඩ තුළ පල්වෙලා පැසවීමක්  සිදු වී වායුවක් නිපද වෙනවා. එය උගුරට එනවා. බඩ පපුව දනවා. බඩේ - උගුරේ තුවාල එනවා. බඩේ සද්ද ඇති වෙනවා. මළ බද්ධය වගේම බඩ පුරවා දැමීමක් ද සිදු වෙනවා. බඩ ගිනි දැනෙනවා අඩුයි. ඇඟට තෙහෙට්ටු ගතියක් වගේම හිතට බයක්ද දැනෙනවා.

මේ ලක්ෂණ ඇති වුණාහම ඉක්මනටම යනවා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඊට පස්සෙ පරීක්ෂණ කරනවා. බලපුවහම රෝගයෙක් නෑ. මේක මානසික තත්ත්වයක් කියලා වෛද්‍යවරයා තීරණය කරනවා .රෝගියා දැන් හොඳට ම බය වෙලා. ලෙඩේ හොයා ගන්න බැරි නිසා. ලෝකෙ තියෙන භයානකම ලෙඩ ටික මතක් කර ගෙන තමාට ඉන් එකක් වෙන්න ඇති කියල හිත හිත ඉන්නවා. ඒත් ඒ අය දන්නෙ නෑ මේ රෝගය වැරැදි ආහාර පුරුදු නිසා ඇති වෙච්ච වග. රැකියාවට යන අය වගේම ශිෂ්‍යයනුත් අද මේ රෝගයට ගොදුරු වෙලා .අද සෑම නගරයකම ආහාර කඩ තියෙනවා. ඒ කඩවල තියෙන ආහාරවලට නොයෙක් රස කාරක දානවා. ඒවා පෝෂණ ගුණයෙනුත් අඩුය. මේ ආහාර අනුභව කරාම පසු කාලයේ දී පිළිකා පවා ඇති වෙන්න පුළුවන්. අද හුඟක් දෙනා කුකුළු මස් කන්න දක්වන්නෙ පුදුම ආසාවක්. මේවයේ ගුණයක් රසයක් නෑ. ඇත්තෙ හෝමෝන විතරයි. ඉතිං මේවා කෑවම අපි දන්නෙම නෑ ලෙඩ වෙනකම්. මේ වගේ ආහාර කනකොට අමාශයේ, හෘදයේ හා වකුගඩු රෝග බහුලව ඇති වෙනවා කියලයි ආයුර්වේදයේ සඳහන් වෙන්නෙ. ඉතිං බලන්න අපි ලෙඩ වෙන්නෙ අපේම වරදින් අපේම වැරැදි පුරුදු නිසා. නෙමෙයිද කියලා. එදා අපේ ආච්චිලා සීයලා කෑවැ වගේ බත්, හාල් පිටි, අලුත් එළවළු අලවර්ග, පලතුරු කොළ වගේ දේවල් අපේ ආහාරයට එක්කර ගන්නවා නම් ඒක අපේ ශරීරයට වගේම ආර්ථිකයටත් හොඳ බව අමුතු වෙන් කියන්න ඕනෙ නෑ නෙ.


ගින්න ඇතිවීම, පිළිවෙලකට ආහාර ගැනීම, ආහාර දිරවීම සහ මල පහවීම හරියාකාරව සිදුවෙනවා නම් නිරෝගීව ජීවිතයට මුහුණ දෙන එක ඒ හැටි දෙයක් නොවෙයි. මල පිටවීම පිළිබඳව තමා වැඩි සැලකිල්ලක් ගත යුතුමය.

වර්තමානය වන විට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බහුලව දක්නට ලැඛෙන රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් රෝගය හදුනා ගන්න පුළුවන්. මෙම රෝගයෙන් පිඩා විදින බොහෝ දෙනෙක් මෙම රෝගය බාහිර ලෝකයට හා ඇතැම් විට පවුලේ අයට පවා සගවාගෙන පීඩා විඳිනු ලබයි. ලැජ්ජාව හේතුවෙන් වෛද්‍යවරුන්ගෙන් පවා රෝගය සැගවීමට ඔවුන් උත්සාහ දරනවා. මෙය ඉතාම දරුණු තත්වයක්. බොහෝ කලක් ක්‍රමවත් ප්‍රතිකාර ලබාගැනීමකින් තොරව රෝගය සඟවා සිටීම හේතුවෙන් ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකා තත්ත්ව පවා ඇතිවිය හැකි බව මේ වන විට වෛද්‍යවරුන් සොයාගෙන තිඛෙනවා.

ගුද මාර්ගයේ සෑදෙන මෙම රෝගී තත්ත්වය රෝගීන්ගේ හිතට වද දෙන, ගතට පීඩාකාරී රෝගී තත්ත්වයකි. මහා බඩවැලේ අවසාන අගල් 4 1/2ක පමණ කොටස ගුද මාර්ගය ලෙස හඳුන්වනු ලබයි. ගුද මාර්ගයේ ඇතිවන දැඩි වියළීම හෝ හටගනු ලබන ගෙඩි නිසා මල පිටකිරීම ඉතාමත් අපහසුතාවකට පත් කරයි.

මෙම ගෙඩි ශල්‍යකර්ම මගින් ඉවත් කළ හැකි අතර එසේ ඉවත් කළද නැවත නැවත ගෙඩි ඇතිවිය හැකිය. කෙසේ වෙතත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ශල්‍යකර්මවලින් තොරව අර්ශස් නිට්ටාවට සුව කරගත හැකිය.





 විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 777284473 / +94 710952034 / +94 11 2624475



Facebook: Mediherbs SriLanka 

No comments:

Post a Comment