Monday, February 1, 2016

අම්ල පිත්ත රෝගය - Hyper Acidity

















වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගය සමාජයේ වැඩි දෙනා අතර හැඳින්වෙන්නේ ගැස්ට්‍රයිටීස් (Gastritis - ආමාශයික ප්රදාහය) වශයෙනි. අම්ල පිත්තය පුළුල් රෝගයක් වන අතර ගැස්ට්‍රයිටීස් යනු එක් අංශයක් පමණක් වන බව කිව හැකිය. අමිල පිත්ත ස්වතන්ත්ර රෝගයකි. එහෙත් ගැස්ට්‍රයිටීස් හෙවත් ආමාශයික ප්රදාහය ස්වතන්ත්ර රෝගයක් විය නොහැකිය. අම්ල පිත්ත රෝගය පිළිබඳ දැනගැනීම ආමාශයේ ඇති විය හැකි බොහෝ රෝග වලින් වැළකී සිටීමට හේතු කාරණා වේ.


ආයුර්වේද විඥානයට අනුව වැළඳීමට හේතු වන කාරණා වන්නේ එකිනෙකට විරුද්ධව ආහාර වර්ග (උදාහරණ උෟරු මස්, හරක් මස්, මුදවාපු කිරි වැනි දෑ) නිතර අනුභව කිරීම, නරක් වූ ආහාර (වර්තමානයේ රසකාර යෙදු පෙර පිසින ලදුව අධි ශීතකරණ වල බහා කල් තබාගන්නා ආහාර වර්ග) නිතර කෑමට ගැනීම සැර ඇඹුල් ආහාර වර්ග ගැනීම (උදාහරණ අන්නාසි වැනි) විදාහී හෙවත් දැවිල්ල ඇති කරන ආහාර වර්ග (උදාහරණ රතු මිරිස් බහුල ආහාර, විනාකිරි, අබ වැනි දෑ යොදා සකස් කළ ආහාර) පිත කුප්පන සුළු ආහාර වර්ග (මත් පැන්, කිරෙන් තැනූ මෝරු රා ආසව ආදිය). උඳු මෑ අවර වැනි අහාර බහුලව හා වැඩි වාර ගනනක් ගැනීම, ආදී කරුණු හේතු කොට ගෙන කිපුණු ශාරීරික පිත අම්ල බවට පත්ව අම්ල පිත්ත රෝගය උපදවයි. ආයුර්වේදයේ ග‍්‍රන්ථාගත කරුණු මේ වුවද වර්තමාන ජන සමාජයේ දෛනික ජීවන රටාව විමසා බැලූ විට මෙම රෝගයට හේතු විය හැකි තවත් බොහෝ හේතු අපට හමුවේ.


විවිධ ආකාරයේ ශීත කළ හෝ නොකළ රසකාරක යෙදු කලින් පිසින ලද ක්‍ෂණික ආහාර, කෘත්රීම පාන වර්ග, වෛද්‍ය උපදෙස් නොලැබ බටහිර හා ආයුර්වේදීය ඖෂධ භාවිතා කිරීම, රැකියාවේ ක්රියාකාරකම් වලදී විෂ සහිත රසායනික ද්‍රව්‍ය හෝ ද්‍රව ආශ්‍රිතව සිටීමට සිදුවීම, මත් කුඩු හෝ කංසා භාවිතය, ධූම පානයට ඇබ්බැහි වීම, රාත්රිය නිදි වරමින් වැඩ මුරයේ වැඩ කරන්නට සිදුවීම, රෙදි හා ඇඟළුම් කර්මාන්තය ආශ‍්‍රිත විවිධ ක්රියාකාරකම්, Take away කෑම කඩ හරහා සමාජගත වන විවිධ නොගැලපෙන හා නරක් වූ ආහාර පාන ගැනීමට පෙළඹීම, නිසි වෙලාවට ආහාර නොගැනීම හා ගත් ආහාර දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම, විවිධ කරුණු හේතුවෙන් මානසික ආතතියට ලක්වීම ආදී මෙවැනි කරුණු රාශියක් වර්තමානයේදී අම්ල පිත්ත රෝග නිදානාංශයට ඇතුළත් කළ යුතු බැව් පෙනේ. දේශිය ආහාර රටාවෙන් හා චින්තන රටාවෙන් ඔබ්බට ගිය ආහාර රටාවකට ඇබ්බැහි වීම හා අවුල් සහගත සිතිවිලි ඇති කර ගැනීමද අම්ල පිත්තයට පමණක් නොව තවත් බෝ නොවන රෝග ගනණයකට හේතු වී ඇත.

ශරීරික පිත ප්‍රකෘත හා විකෘත යැයි ශාස්ත්රයේ සඳහන් වේ. ප්‍රකෘත පිත කටුකය. එය ආහාර පරිපාකය හොඳින් සිදු කර සිරුරට සැප ලබාදෙයි. විකෘත පිත අම්ලාධිකය. ඒ තත්වය අම්ල පිත්ත රෝගය ලෙස ගැනේ. එලෙස පිත විකෘත වීමට යට දැක්වූ හේතු සමුදාය ඉවහල් වේ. බටහිර මතය අනුව Hyper Acidity යයි ගැනුයේ එයයි. ආමාශය හා ඉන් පහළ කොටසේ වණ තුවාල හට ගැනීම, අධික දුම් පාණය, පිටි සහිත ආහාර වැඩි පුර ගැනීමෙන් රා ආදිය පැහෙන්නාක් මෙන් පැහීමට පත්වීම ආදිය ඊට හේතු වෙතියිද ඉන් උපදනා අම්ලය පිත සමඟ එක්වීමෙන් අම්ල පිත්තය Hyper Acidity හටගනිතියි ද ඔව්හු සළකති. මෙය ආයුර්වේද මතය නොවුනද ආයුර්වේදය එය ඉවත නොදමයි.

බටහිරින් කියැවෙන තවත් මතයක් වන්නේ අම්ල පිත්තය හෙවත් Heart Burn තත්වයැයි කියනුයේ ගලනාලයේ මුල ඇතිවෙන දැවිල්ලටය යන බවයි. එම තත්වය ඇති වන්නේ ආහාරගෙන ටික වේලාවක් ගතවූවාට පසුව බවද එහිදී දැවිල්ල සමඟම ඇඹුල් රසැති ඔක්කාරය ඇතිවන බවද බොහෝ විට මේ දැවිල්ල ගලනාලය කෙලවර හෝ ආමාශය කැලඹීමෙන් හෝ ඇති වන බවද ඊට බාහිරව අම්ල වර්ග කරණ කොට ගෙන ඇති විය හැකි බවද කියැවේ. එහෙත් Gastritis හෙවත් ආමාශික ත්රීව්ර පර්ධාන (දැවිල්ල) හටගන්නේ අධික මත් පැන් පානයෙන් හෝ ආහාර අජීරණයෙන් හෝ එම දෙකින්ම යැයි සඳහන්වේ. එහි දී බඬේ තද බල කැක්කුම ඔක්කාරය හෝ වමනය හා ඇතැම් විට උණ ගතියද ඇති විය හැකි බවත් කල් ගත වීමේ දී ආහාර අරුචිය ඔක්කාරය විටින් විට සෙම වමනය විය හැකි බවත් මෙබඳු තත්වයන් දිරවීමට අපහසු ආහාර නිතර ගැනීමෙන් ඇතිවිය හැකි බවත් ආමාශය පිළිබඳ පිළිකා වැනි වෙනත් රෝග වලදී ද මෙබඳු තත්වයන් ඇති විය හැකි ඉවත් බටහිර රෝග විඥානයේදී කියැවේ. මානසික උද්වේග මුත‍්‍ර විෂ වීම වැනි අවස්ථා වලදීද ආමාශය රෝග ග‍්‍රස්ත වේ යැයිද සඳහන් වේ.

මෙහි රෝග ලක්‍ෂණ ලෙස ආයුර්වේදීයව කිව හැක්කේ කෑ දේ නිසි පරිදි නොදිරවීම, වෙහෙසීමෙන් තොරව සිරුරට දැනෙන මහන්සිය - විඩාව, ඔක්කාරය, තිත්ත ඇඹුල් රස උගුරට ඒම, සිරුර බර බව, පපුවේ හා බෙල්ල (ගලනාලය) ඇතුලතින් එන දැවිල්ල, ආහාර අරුචිය යනාදී රෝග ලක්‍ෂණයන්ය. මේ හැර මේවාටම යාවන සුළු සුළු වෙනස්කම් ඇතිව උපදනා අපහසුතාද හමුවේ.

අම්ල පිත්තය දෙආකාර බව ආයුර්වේදය කියති. ඒ ඌර්ධ්වගත සහ අධෝගත වශයෙනි. අම්ල පිත්තයේ දෝෂය පිතයි. වාතය සහ සෙම පිත අනුව ක‍්‍රියා කරයි. ඌර්ධ්වගත අම්ල පිත්තය ආමාශය හා ඉන් ඉහළටම ගිය අවස්ථාවයි. බහුලව දැකිය හැක්කේ මෙයයි. මෙය සෙම සමඟ විශිෂ්ට ලෙස සම්බන්ධ වූ රෝග අවස්ථාවකි. අධෝ ගත අම්ල පිත්ත අන්ත‍්‍ර මාර්ගයේ ආමාශයෙන් පහළ කොටසට පැතිරුනු රෝගාවස්ථාවයි. මෙය නිතර දක්නට නොලැබෙයි.

සෙම සමග එක් වූ ඌර්ධ්ව ගත අම්ල පිත්තය කොළ කහ නිල් කළු පාටයි. සෙම සහිතව වමනය ඇති කරයි. පිටත මද රතු පාටද ඇතුළ තද රතු පාටද වෙයි. තද අම්ලයක් ඇති කරයි. ඒවා මස් සේදු වතුර මෙන් කළු රතු වර්ණ වෙයි. බොහෝ සෙම් සහිත බවක් පෙන්වයි. විවිධ වූ රස ඇති කරයි. කෑ අහර විකෘතව පැසුණු කල්හිද අහර ගත යුතු වේලාවේ නොගෙන සිටීමද නිසා තිත්ත වූත් ඇඹුල් වූත් වමනයක් ඇති කරයි. එලෙස ඔක්කාරයද වෙයි. උගුර පපුව හා බඬේ තද දැවිල්ල හා තද බල හිසේ කැක්කුම ඇති කරයි. එසේම සෙම සම්බන්ධය ඇත. අම්ල පිත්තය අත් පා වල පවා දැවිල්ල ඇඟේ ගිණියම තද අරුචිය උණ, කැසීම, පලූ දැමීම බොහෝ කොට බිබිලි ඇති වීම  සහ වෙනත් නොකියූ රෝග ගහනයක් උපදවයි.

අධෝ ගත අම්ල පිත්තයෙහි සෙම සම්බන්ධයක් නැත. ඇත්තේ ශාරීරික පිතේම කිසියම් විශේෂත්වයක් පමණි. පිපාසය දැවිල්ල මූර්ච්ඡා වීම - කරකැවිල්ල - මුළාව මෙහිදී ඇතිවේ. විවිධ වර්ණ සහ දුර්ගන්ධයේ එක් වීමෙන් කිසි විටෙක උපදනා පිත්ත විකෘති තා නිසා ඔක්කාරය  - ඇඟේ පලූ නැගීම - ගින්න මද කම - ලොමු දැහැ ගැන්ම - ඩහදිය වැඩිපුර ගැලීම - ඇඟ පත කහ පැහැ වීම ආදිය සිදු කරමින් අධෝගත වෙයි. මේ අවස්ථාව නිතර දක්නට නොලැබෙයි. අළුත් අම්ල පිත්ත රෝගය උත්සාහයෙන් සුව කර ගත යුතු බවද කල් ගත වූ අම්ල පිත්තය හිතවත් ඖෂධ ආහාර පාන විහරණ උපයෝගී  කර ගනිමින් වැර වෑයමින් සුව කර ගත යුතු බවද ආයුර්වේදය අවධාරණයෙන් දක්වයි. ඒ වෙනත් රෝග  ගහණයකට අම්ල පිත්ත රෝගය හේතු විය හැකි බැවිනි.

වාත දෝෂය පර්ධාන අම්ල පිත්තය වාත සහ සෙම පර්ධාන අම්ල පිත්තය හා සෙම පර්ධාන අම්ල පිත්තය යැයි මෙය ත්රිවවිධාකාරය. වාත පර්ධාන අම්ල පිත්තයේදී වෙව්ලීම, නන් දෙඩවීම, මූර්ච්ඡාව, පුපුරු ගසන්නාක් බඳු වේදනාව, ඇඟ පත පණ නැති වීම, අවයවයන්හි බුරුල් බව, අනින්නාක් බඳු වේදනාව, දකින දේ අඳුරු පැහැයෙන් දැකීම, කරකැවිල්ල, මුලා බව, ලොමු දැහැ ගැන්ම ආදී රෝග ලක්‍ෂණ දකින්ට ලැබේ.

සෙම අධික අම්ල පිත්තයේදී බොහෝ කොට සෙම කාරා දැමීම, සෙම බේරීම, ඇඟ පතේ බර බව වැඩිපුර දැනීම, ක‍්‍රියා හානිය, සියල්ල අරුචි වීම හෙවත් නොරිස්සුම, සීතල දැනීම, ඇඟ පත අවයව බුරුල් වූවා සේ දැනීම, වමනය යාම, මුඛයේ සෙම ඇලී තිබීම, මන්දාග්නි තත්වය ඇතිවිම, ශරීර ශක්තිය හීන වීම, කැසිල්ල, නිදිමත ආදී ලක්‍ෂණ දැකිය හැකිය. වාත හා සෙම් ප‍්‍රධාන අම්ල පිත්තයේදී ඉහත කී රෝග ලක්‍ෂණ මිශ‍්‍රව පවතින්නේය.

පිතේ විශේෂතාව සහිත සෙම අධික අම්ල පිත්තයක් ගැන ආයුර්වේදයේ සඳහන් වේ. එහිදී තිත්ත ඇඹුල් හා කුළු (කටුක) රසයෙන් යුතු ඔක්කාරයක් ඇතිවේ. හෘදය පෙදෙස උදර පෙදෙස බෙල්ල ආදී තන්හි දැවිල්ල කරකැවිල්ල මුලාව අරුචිය වමනය අලස ගතිය හිසරදය සෙම් වැගිරීම මුඛයේ පැණි රස දැනීම ආදී ලක්‍ෂණ ඇතිවේ. අම්ල පිත්තයේ ප‍්‍රධාන දෝෂය පිතයි. මෙහි සාමාන්‍ය සහ විශේෂ තත්ව දක්නා ලැබේ. සෙම බහුල අම්ල පිත්තයේදී පිතේ ඇති එම විශේෂත්වය යහමින් දක්නට ලැබෙන බව සැළකිය යුතුය.

මෙකී සියලූම රෝග ලක්‍ෂණ එක රෝගියෙකු කෙරේ දකින්ට නොලැබෙතත් බොහෝ ලක්‍ෂණ දක්නට ලැබේ. බෝ නොවන රෝග ගණයේ  බහුලව දක්නට ලැබෙන රෝගයක් වන මෙම රෝගය වැළඳීමෙන් පසු බොහෝ දුක් උසුලා සුව කර ගැනීමට වඩා රෝගය වැළඳීමෙන් වැළකී සිටීම ඉතා අගනේය. ඒ සඳහා අප ගත යුතු ක්රියා මාර්ග රාශියකි. පළමුකොට සිරුර හා මනස පවිත්රව තබා ගත යුතුය. ආහාර පරිවෘත්ති හෙවත් දිරවා එහි රසය සිරුරට උරා ගැනීමේ ක්රියාවලිය හෙඳින් සමබරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

විශේෂයෙන්ම ආහාර පැසවන ශාරීරික ගින්න නිසි පරිදි පවත්වා ගත යුතුය. මෙහදී සුදුසු කල්හී ආහාරයට ගත් සැහැල්ලූ හිතකර ආහාරය පවා වැඩිපුර වතුර බීම නිසා නිසියාකාර පැසවීමකට නොයන බව ශාස්ත‍්‍රයේ සඳහන් වේ. එවිට අග්නිය හෙවත් ගින්න මන්දාගිනි තත්වයට යයි. එවිට සිරුරේ අමු බව හා සෙම වර්ධනය වෙයි. එකල අවයවයන්හි ක්රියාකාරීත්වය දුබල වීම සිරුර බර බව ආදී ලකුණු පහළ වෙයි. ආහාර අඩුවෙන් හෝ වැඩියෙන් ගැනීමද නොකල්හි ආහාර ගැනීමද මළ මූත්ර කිවිසුම් අධෝ වාත ආදී ශාරීරික වේග පහ නොකර දරා ගෙන සිටීමද රාත්රී නිදි වැරීම හා දහවල් හි නිදි ගැනීම යනාදී කරුණු ආහාර පැසවෙන ගින්න මැඩ පැවැත්වීමට හේතුවේ. එකල අම්ල පිත්ත පමණක් නොව ආමාශය අන්ත්ර මාර්ග ගත වෙනත් බොහෝ රෝගයන් පවා පහසුවෙන් උපදී. මානසික දෝෂ වශයෙන් ගැණෙන ඊර්ෂයා කිරීම, අධික ලෙස බිය වීම, දැඩි සේ ක්‍රෝධ කිරීම, ආදී කරුණු ලබන්නා කෙරෙහිද අධික ලෝභයෙන් යුතු වූවන් කෙරෙහිද මානසිකව නිවට ගති ඇත්තවුන් කෙරෙහිද රෝග පීඩිතයින් කෙරෙහිද අනුන්ට දිවේශ කරන්නන් කෙරෙහිද ගත් ආහාරය නිසි පැසවීමකට නොයයි. එමෙන්ම නිසි පමණින් නිසි පරිදි වැළඳු හිතකර ආහාරය වුවද අධික සිතිවිලි ඇතිව දැඩි කණගාටුවට පත්ව දැඩි බියෙන් යුතුව අනුනට ක්‍රෝධ සිතින් යුතුව නම් නිසි පැසවීමට නොයයි. සුව පහසු නැතිව දුකසේ නිදා ගැනීමද නිදි වැරීමද ආහාරය නොදිරවීමට ප‍්‍රධානවම හේතුවේ. මේ බැව් ආයුර්වේදයේ මූලික ග‍්‍රන්ථ දෙකක් වන සුශ්රැත සංහිතාවේ සහ චරක සංහිතාවේ කෙළින්ම දක්වා ඇත.

නින්ද ආහාර ජීරණයට බලපාන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්ට පුළුවන. දහවල හි සිරුරේ බාහිර අවයව මෙන්ම අභ්‍යන්තර අවයවද ක්රියාකාරීව සිට රැුයේදී විශ‍්‍රාමයට පත්වෙති. බඩවැල සහ අක්මාව ඊට වෙනස්ව රැයේදී හොඳින් ක්රියාත්මක වේ. රැයෙහි නිදි මැරීමෙන් ආහාර පැසවීමේ ක්රියාව අඩපණ වන්නේ එබැවිනි. එයින් වාත දෝෂය වර්ධනය වී ආහාර නොදිරවීමේ තත්වය පැන නැගේ. දහවල් හි නිදා ගැනීමෙන් සෙම වැඩිවී ගින්න නිවී යයි. එම නිසා ආහාර නිසි පරිදි නොපැසවා පල් වෙයි; විෂ වෙයි. ඊර්ෂයා භය ආදී මානසිකතත්වයන් නිසා මොළයේ සහ නාඩි ව්‍යූහයේ සිදුවන විකෘතිතා නිසා ආහාර පැසවන පාචක ද්‍රව්‍ය වැගිරීමේ ඇණහිටීමක් සිදුවේ. නිසි මානසික ව්‍යාපාරය ආහාර දිරැවීමේ ක්රියාවලිය නියමිත පරිදි මෙහෙයවයි. ආයුර්වේදය ඈත අතීතයේ දුටු මේ තත්වය අද නවීනයෝත් එකහෙළා පිළිගනිති. 

මේ රෝගය හා ඇති විය හැකි තවත් රෝග බොහෝමයක් ආහාර ජීරණ පද්ධතියේ ක‍්‍රියා විකෘතිය නිසා උපදී. අසාත්මක භෝජණය හෙවත් නොගැලපෙන ආහාර ගැනීම අර්ධපක්ව භෝජණය හෙවත් බාගෙට පිසූ ආහාර ගැනීම පිලූනු වූ ආහාර ගැනීම හොඳින් නොපිසූ ආහාර ගැනීම සහ අද බහුලව දක්නට ලැබෙන වරක් පිස ශීතකරණ වල බහා තබා පසුව ගෙන නැවත රත්කර කර ආහාරයට ගැනීම අතිශයින්ම අන්ත‍්‍ර මාර්ගික රෝග උපදවයි. එසේ නැවත රත්කර ගන්නා ආහාර විෂ බව ආයුර්වේදය සාරංගධර සංහිතාවේ ලා දක්වයි. මෙවැනි තත්වයන්ගෙන් තොර වූ හිත ආහාරය ලෙඩ හදන්නෙ නැත. බහුල වශයෙන් පොල්තෙල් ද ඊට අඩුවෙන් මීතෙල් එලඟිතෙල් දුන්තෙල් ද ආහාරයට ගත් අපේ රටේ වැසියන් අද තෙල් යැයි කියා කන්නේ මොනවාදැයි ඔවුන්ම නොදනී. විවිධ වූ ඇට වර්ග මද වර්ග සිඳි තෙල් වෙළඳ පලේ බහුලය.

ඒ තෙල් සහිත ආහාර ගැනීම නොකළ යුතුය. විවිධ දේශගුණික කලාප වලට අයත් නොරටුන්ගේ ආහාර රටාවට අප පුරුදු විය යුතු නැත. පාන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලෙඩ හැදෙන බවට අද සමාජය තරමකට හෝ දැනුවත් වී ඇත. අම්ල පිත්තයට එයද ප්රධාන හේතුවකි. මිරිස් තෙල් අධික ආහාර මෙන්ම ඒවා රසවත් කිරීමට යොදා ගනු ලබන මොනසෝඩියම් ග්ලූමේට් නමැති කෘත‍්‍රීම රසාකාරකය අපේ ආහාර ජීරණ පද්ධතියට කරන අපරාධය පිළිබඳව හොඳින් අවබෝධ කර ගත යුතුය. එමෙන්ම කෘත්රීමව සෑදු පැණි බීම වර්ග ශරීරයේ ක්‍ෂණික ශක්තිය ඇති කරවතියි වෙළඳ ප්රචාරණයට පත් පානීය වර්ග ශක්ති ජනක බව කියන කිරිපිටි වර්ග භාවිතය පිළිබඳව අපේ රට වැසියා මීට වඩා අවබෝධයෙන් ක‍්‍රියා කළ යුතුය.

එමෙන්ම මානසික යහ පැවැත්ම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි. සිතේ දුර්ගුණ වැඞීමෙන් ගතේ රෝග හට ගන්නා බව බටහිරින්ද අවධාරණය කරන කරුණකි. අදහන  ඕනෑම ආගමකට ධර්මයක සමාජයේ අනුනට කරදරයක් නොවන පරිද්දෙන් ජීවත්වන ක්රමය දැක්වෙයි. එලෙස ජීවත් වන්නාගේ මානසික දුර්ගුණ විකෘතිතා ඇති නොවේ. බෞද්ධයින් නම් සිල් පද පහ හොඳින් රැක ගැනීමෙන් නිරෝගී පුද්ගලයෙකු ලෙස ජීවත් වීම හැකිවේ.

මත් ද්‍රව්‍ය හා මත්පැන් වලින් වැළකී සිටීම සෞඛ්‍යය රැකගැනීමට වඩාත් ඉවහල් වේ. මත් පැනින් වළකින්නටම බැරි නම් එය ප්රමාණාත්මකව ක්රමයෙන් අඩු කළ හැකිය. එළෙස ක්රමානුකූල පැවැත්මෙන් මත්පැනින් වැලකී සිටීමටද පුරුදු වන්නට පුළුවන. එවිට ලෙඩ දුක් නැති නිරෝගී ප්රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව පෑදේ. මධුමේහය හෘදයාබාධ අධි රුධිර පීඩනය අක්මාගත ආබාධ ආමවාත සන්ධිවාත පීනස වැනි රෝග ගහණයකින්ද වැළකීමට යහපත් ශාරීරික මානසික සෞඛ්‍ය සංරක්‍ෂණය හේතු වේ.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍්‍යෂක අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 

29 ජනවාරි 2016


No comments:

Post a Comment