Sunday, February 21, 2016

ගතට සිතට වද දෙන සන්ධි රෝගය - Arthritis


නූතන සමාජය වෙලා ගෙන තලා පෙළාලන රෝග අතුරින් සන්ධි රෝගය ප්රධාන තැනක් ගනී. එතරමටම එය සමාජ දේහය ගිලාගෙන ඇති බව කිය යුතුය. වැඩිහිටි ස්ත්රී පුරුෂ දෙපක්‍ෂයම මීට ගොදුරු වන අතර බහුල වශයෙන් දැකිය හැක්කේ ස්ත්රී පක්‍ෂය කෙරෙහිය. මැදි වයසට එළඹෙනවාත් සමගම හෙවත් සාමාන්‍යයෙන් වයස අවුරුදු තිස්පහ පසු කරන විට බොහෝ කාන්තාවෝ මේ රෝගයට ගොදුරු වෙති.

සනධි රෝගය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ විවිධ තන්හි සියුම් අයුරින් විග්රහ කර ඇත. මෙම රෝගයට වාතය ප්රධාන වන අතර පිතේ සහ සෙම් දෝෂයේ අඩු වැඩි සම්බන්ධයද පවතී. කිපුණු වාතය සර්වාංගයම ආශ්රය කළ කල මාංශ පේශීන්ගේ කම්පනය ඇට කටු වල බිඳින්නාක් බඳු වේදනාව සන්ධි වල පුපුරන්නාක් බඳු පීඩාව හා සියොළඟ වේදනාව ඇතිවේ. කෝපයට පත්වූ වාතය ගුදයෙහි හෝ ඉන් ඉහළ පක්වාංශය ඇසුරු කළ විට මල මුත්රා දිගේ බැඳීම අනින්නාක් බඳු දැඩි වේදනාව බඩ පිපුම මුත්රාශ්මරී ඇතිවීම කෙණ්ඩ කළවා තුනටිය පාද හා පිට පෙදෙසේ පීඩාව හා සිරුරේ වියළීම ඇති කරන්නේය. කුපිත වාතය ලෙයට පිවිසි කල තැවීම හෙවත් උෂ්ණය සහිත වූ තියුණු වේදනාව වර්ණ විකෘතිය කෙට්ටු බව අරුචිය සිරුරෙහි වණ හා බිබිලි ඇතිවීම සිරුර දරදඬු වීම ඇතිවිය හැකිය. රක්තය හෙවත් ලෙය විසින් දූෂිත වාතය ආවරණය කර ගැනීම මේ තත්වයට හේතුවේ. මෙම තත්වය සන්ධි වාත රෝගීන් කෙරේ වැඩි වශයෙන් දක්නට ලැබේ.

වාත දෝෂය මිදුළු සහ ඇට ගතවූ කල ඇට පුරුක් වල කඩන්නාක් බිඳින්නාක් බඳු තද බල පීඩාද සන්ධි වල අනින්නාක් බඳු දැඩි වේදනාවද මාංශ බලය පිරිහීමද නිදි නැති බවද නිරන්තරව පවත්නා වේදනාවද ඇති වේ. වාත දෝෂය මජ්ජා හෙවත් මිදුළු ගත අවස්ථාවේදී පහ නොවන වේදනාව පවතින බව විශේෂයකි. ඇට හෙවත් අස්ථි ගත අවස්ථාවේදී වියළීම බිඳී යාම හා අනින්නාක් බඳු වේදනාව ඇති වීමද සැළැකිය යුතු ලක්‍ෂණයකි. මෙහි ඇතිවන වේදනාව තීව්රය. වාත දෝෂය මාංශ හා මේදස් ආශ්රය කළ කල ඇඟ පත බර බවද ආඝාතයකට ලක්වූ කලක මෙන් ඇතිවන තද බල පීඩාව හා වේදනාවද දැඩි වෙහෙසද දක්නට ලැබේ.

කුපිත වාත දෝෂය සන්ධි ගත වූ කල්හි සන්ධි ස්ථාන වල තද බව හෝ බුරුල් බව හෝ ඇති කරයි. එයින් සන්ධි ස්ථානයන්හි ක්රියා කාරිත්වය නැසී යයි‍. ඒ ස්ථානයන්හි ඉදිමුම සහ අනින්නාක් බඳු දැඩි වේදනා ඇති කරයි. සන්ධි දිග හැරීමේදී හැකිළීමේදී වේදනාව උපදවයි. මේ තත්වයන් සන්ධි වාත (Arthritis) ආමවාත (Rheumatic Arthritis or Rheumatold Arthritis) වාත රක්ත යන රෝග වලදී මෙන්ම විෂ හේතුවෙන් අභිඝාත ආදී වෙනත් බාහිර හේතුවකින් සන්ධි ස්ථානයන්හි ඉදිමුම හා වේදනාව හටගනී. එම නිසා සන්ධි ක්රියාකාරීත්වයට හානි පැමිණේ.

විසි වන සියවසේ භාරතයේ විසූ සුප්රකට ආයුර්වේද චිකිත්සකයෙකු හා ශික්‍ෂකයෙකු වූ ආචාර්ය ගණ නාථ් සෙන් මහතා ස්වකීය සිද්ධාන්ත නිදාාන ග්රන්තයෙහි ලා සන්ධි වාත රෝගය නව මුහුණුවරක් ඇතිව විග්රහ කර ඇත. එතුමා දක්වන පරිදි යම් වාතාබාධයක් සත්ධීන් ඇසුරු කළ කල වරින් වරද එසැණින්ද ඉදිමුම හා වේදනාව උපදවයි. සන්ධි වාතය යනු එයයි. එහි එන පරිදි සමස්ත සන්ධි වාතය රසවාත - රක්ත වාත - විෂ වාත - ජීර්ණ වාත - ජරා වාත යැයි පස් ආකාර වේ. මෙහි රසවාතය යනු ආම වාතයයි. එය මෙහිලා නොකියැවේ. රක්තවාතය මෙහි විශේෂයෙන් සඳහන් කල යුතුය. පාදයෙහි ඇඟිළි ආශ්රිත සන්ධි ඉන් උඩ කොටසෙහි වූ සන්ධි වළලූ කර සන්ධි දණහිස් සන්ධි ඉකිළි සන්ධි තුනටියේ සන්ධි කොඳු ඇට සන්ධි මැණික් කටු සන්ධි මෙහිලා පීඩාවට පත්විය හැකිය. කුඩා සන්ධි මෙහිලා විශේෂයෙන් ගැනේ. මෙහිදී වේදනාව දැවිල්ල රතු පැහැයෙන් යුත් ඉදිමුම හා හත් අට දිනෙකින් රෝග ලක්‍ෂණ සන්ධියෙන් සන්ධියට ගමන් කිරීමද දැකිය හැකිය. අද බහුලව දක්නට ලැබෙන සන්ධි රෝග වල මෙම ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් තිබෙනු පෙනේ. මෙහිම කියැවෙන විෂ වාත ජනිත සන්ධි වාත තත්වයන්ද දැකිය නොහැකි නොවේ. ඒ උපදංශ ආදී රෝග නිසා ඇතිවන විෂ හේතුවෙන් උපදනා සන්ධි වාත රෝග තත්වයන්ය. දන්ත පූය හෙවත් දත් ආශ්රිත දන්ත මූල විදුරු මස ආදිය පැසවීමට ලක්ව උපදනා විෂද ශරීර ගතව ලෙය ඇසුරු කළ කල ඒ හේතුවෙන් සන්ධි වාත රෝගය උපදී. ජීර්ණ වාත සන්ධි රෝගය ත‍්‍රිවිධය. ආමවාත රක්තවාත විෂ වාත ජනිත සන්ධි රෝග නිසි පරිදි සුව නොවී කල් ගත වීමෙන් මේ තත්වය උපදී. එය අත් පා හන්දි තුනටිය තුන් ඇට මූට්ටුව පිට ආදී තන්හි වේදනා උපදවන ක්රියාකාරීත්වය ඇන හිටුවන රෝගාවස්ථාවකි. මේ හැර තවත් බොහෝ ලොකු කුඩා සනධි ආශ්රය කරයි. මෙහිදී සන්ධි ඇදවීම් ක්රියා කළ නොහැකි ලෙස සවි විම අස්ථි වල විකෘති පහළ විය හැකිය. එය කල් ගත වීම නිසා ඇති වන්නකි. එහිදී ඇඟිලි වකුටු වීම සන්ධි ස්ථාන ගත අර්බුද ඇතිවීම දක්නට ලැබේ. සමස්තයක් වශයෙන් ගත් කල යට කී තත්වයන් නිසා ශරීරයේ අස්ථි විකෘතිය දිරාපත් වීම ලොකු කුඩා සන්ධි අස්ථි ගතව මහත්වීම ක්රියා කිීරීමට බැරි කම ආදී රෝග තත්ව ඉස්මතු වේ.

මෙහි රෝග නිදානය දැන ගැනීම මෙම රෝග වලින් වැළකී සිටීමට මහදුපකාරවත් වේ. දිරවීමට අපහසු බර ආහාර නිතර නිතර ගැනීම - මෙහිදී දිරවීමට කල්ගත වන සහ ප්රමානාත්මකව වැඩිපුර ගන්නා ආහාරය විශේෂයෙන් දැක්වේ. බොහෝ තෙල් සහිත ආහාර මිහිරි රසැති ආහාර මත්ස්‍ය මාංශ ආහාර වැඩිපුර ගැනීමෙන් ආහාර දිරවන ශරීරස්ථ ගින්න මද බවට පැමිණීමෙන්ද ව්‍යායාම රහිත වීමෙන්ද අජීර්ණ හෙවත් දිරවීම නිසි පරිදි සිදු නොවීමේ තත්වය උදාවේ. එයින් බොහෝ විට ආමවාත තත්වයක් උදාවිය හැකිය. ශීත වාතයට නරාවරණය වීම බොහෝ කොට සීත සුළං වැදීම මල මූත්ර හා අධෝ වාත වේග පහ නොකැර දරා සිටීම සන්ධි වාත රෝගයේ හේතූන් වේ. නිතර මත් පැන් සේවනය දාහය ඇති කරවන ආහාර වර්ග ගැනීම අඩුවෙන් ජල පානය කිරීම ආදී හේතු රක්ත ගත සන්ධි වාත රෝගය උපදවයි. උපදංශ පූයාමේහ ආදියෙන් ඇතිවන විෂ හා වැරදි ආහාර විහරණ දන්ත වේෂ්ට හෙවත් විදුරුමස පැසවීම නිසාද සෙම් ගෙඩි පැසවීම නිසාද උපදනා විෂ ශරීර ගත වීම ආදී හේතූන් නිසා විෂද සන්ධි වාත රෝග තත්වය පහළ වේ. (කටුක ඇඹුල් තියුණු රස බහුල ආහාර නිතර ගැනීම අධික ජල පානය හා අල්ප ජල පානය රක්ත ගත සන්ධි වාතයට හේතු වේ. මෙහි දැක්වෙන ජල පානය ගැන සැළකිලිමත් විය යුතුය. ආහාර ගන්නා කල ටික ටික වරින් වර ජලය පානය කළ යුතු බව කියවේ. අහර දිරා ගිය කල වැඩියෙන් වතුර පානය කළ යුතුය. එයින් පිපාසය විඩාව දාහය ආදිය නැසේ. ජල පානය නිසා මල මූත්ර ඩහදිය ආදී සිරුරෙන් බැහැර වන ද්‍රව කොටස් හොඳින් පහ වේ. එසේම ලේ වල ස්වභාවික තරලතාව රැකදෙයි. පිත නිසා උපන් ධාතු දාහයෙන් වන තැවීම හෙවත් සන්තාපය සමනය වේ. ශරීරයෙන් පිටවන විවිධ වූ මල කොටස් බැහැර කිරීමට උපකාර වේ. එබැවින් ජල පානය සෞඛ්‍ය සංරක්‍ෂණයෙහි ලා අවශ්‍යාංගයකි).

විශේෂයෙන් රළු සිසිල් සැහැල්ලූ මද වූ ආහාර නිතර භාවිත කිරීම - අති මෛථූනය - වැඩියෙන් නිදි වැරීම වැරදි හැසිරීම් රටාව (හිඳ සිටීම් නිදා ගැනීම් ඇවිදීම් ආදියේ වැරදි) කාලයට වයසට හා ජීවත් වන දේශගුණික කලාපයට නොගැලපෙන ආහාර වැඩි වැඩිය ගැනීම නොකා සිටීම දැඩිව මහන්සි වීම ධාතු ක්‍ෂය වීම අධික සිතිවිලි ඇතිවීම දැඩිව ශෝක කිරීමවෙනත් රෝග වලින් පෙළීම ආදියෙන් දැඩි අබල බවට පත් වීමද නොදැරිය යුතු ශාරීරික වේග දැරීමද අමු ආහාර රසය බඩ වැලෙහි ඇති වීමද අභිඝාත මගින් සිරුර පීඩාවට පත් වීමද සිරුරේ මර්මස්ථාන පීඩාවට පත්වීමද වේගයෙන් දුවන වාහන වලින් හා ඇතුන් අසුන් ආදී සතුන්ගේ පිටෙන් බිමට වැටීමද ආදිය නිසා ප්රකෝප වූ වායුව සිරුරේ වාතයට ගමන් කළ හැකි හිස් තැන් පුරවා සර්වාංගයෙහි හෝ එක් අංගයක හෝ විවිධ රෝග උපදවයි. මේ කියැවුනේ වාතය කෝප වන ආකාරයයි. සන්ධි රෝගයේදීද මෙලෙසම වාතය කිපෙයි.

පොත පතේ දැක්වෙන වාතය දූෂණය වීමේ කරුණු වලට පරිබාහිරව නූතන සමාජගත කරුණුද බොහෝය. එයින් කොටසක්වත් මෙහි සාකච්ඡුා කළ යුතුය. වාණිජමය අගයක් ගන්නා කලබලකාරී සමාජ වටපිටාවක අපේ පාරම්පරික ආහාර රටාව මුළුමනින්ම වෙනස් වී ඇත. ක්‍ෂණික ආහාරයෙන් බඩ පුරවා ගැනීමට සමාජය පුරුදු වී සිටියි. මොනසෝඩියම් ග්ලූටමේට් නැමැති රසායනික රස කාරක යෙදූ ආහාර බහුලව භාවිතය, පෙර පිසූ ආහාර බහුලව ගැනීම, පිසීමෙන් පසු අධි ශීතකරණ වල බහා වැඩි කලක් තිබූ ආහාර රත් කර කෑමට ගැනීම, උදේ පිසූ ආහාරය පවා ශීතකරණයේ තබා රාත්රියට රත් කර කෑම. (වරක් පිසූ ආහාරය නැවත ගින්නට යොමු කිරීමෙන් විිෂ පදර්ථ උපදනා බව ආයුර්වේද ශාස්ත‍්‍රය අවධාරණයෙන් කියා ඇත). විවිධ තාලයේ අච්චාරු ලූණු දෙහි වැනි ආහාර නිතර භාවිතය-එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග කීපයක් එකට ගැනීම (උත්සව වලදී මෙය බහුලව දැකිය හැක. උදාහරණ: බැදපු මස් මාලූ වර්ග, තෙලෙන් තැම්බූ ධන්‍ය හා එළවළු වර්ග, විවිධ අච්චාරු වර්ග, මුදවපු කිරි, අයිස් ක්රීම්, පුඩිං හා වටලප්පන් වැනි දේ දැක්විය හැකිය. නොයෙකුත් සෝස් වර්ග භාවිතයද එසේමය). රසායනික සංඝටක හා අසම්මත මධුර පදාර්ථ යොදා රස කල පැණි බීම වර්ග භාවිතය අබ සහ විනාකිරි යෙදූ ආහාර භාවිතය ආදිය එම වර්තමාන හේතු වශයෙන් දැක්විය හැකිය. එසේම අපේ ඇවතුම් පැවතුම් හා විහරණ රටාව මෙතෙක් මෙරට වැසියන් පිළිපැදි රටාවෙන් ඔබ්බට ගිය සංකීර්ණ රටාවක් වීම සන්ධි වාත රෝගයට ප්රධාන හේතුවක් වේ.

ළිඳෙන් වතුර ඇදගෙන එළිමහනේදී ස්නානය කළ රට වැසියා අද නාන කාමර තුල පයිප්ප වතුරෙන් නා ගනී.කිසි ව්‍යායාමයක් එහි නැත. හමන සුළඟට නිරාවරණය වූ ළිං ජලය හි නැත.එසේම නෑමට කාලයක්ද නැත. දිනකට කිහිප වරක් උක්කුටිකයෙන් හිඳ මල මූත්ර පහ කළ රට වැසියා අද උස් වැසිකිළි බඳුනක් මත වාඩිවී එ් කාරිය කරයි. එයින් ඔවුන්ගේ දණහිස් අන්තයටම නැවෙන්නේ නැත. කාලයක් එලෙස කරන කල දණහිස් නවන්නට බැරිව යයි. පන්සලකට යද්දී වුවද පුටුවක් රැගෙනයාමට සිදුවෙයි. ගෙදර මුළුතැන් ගෙයි බිම හිඳ පලා ලියූ ලිප ගිනි මෙලවූ කාන්තාව ඒ සියලූ වැඩ හිට ගෙන කරයි. පහසුව සඳහා යැ කියමින් කාල වේලා ඉතිරි කර ගන්ට සිතමින් කළ අලූත් දේවල් නිසා සිදුව ඇත්තේ සමාජ දේහයටම හන්දි වාත රෝගය වැළඳීමය. කොළ පලා එළවළු ධාන්‍ය මංශ ජනකයන් හා මේද ඇතුලත් වූ අපේ සම්ප්රදායික සමබර ආහාර වේල සෞඛ්‍යාරක්‍ෂක සම්මන්ත්රණ වලට පමනක් සීමාවී ඇත. අප ඝර්ම කලාපීය රටක වසමිනුත් කන්නේ යුරෝපයේ, ඇමරිකාවේ, නවසීලන්තයේ, අප්රිකාවේ, මොංගෝලියාවේ, චීනයේ, තායිලන්තයේ හෝ ජපානයේ ආහාරය. බොන්නේද එම රටවල බීමය. ඝම_කලාපික අපට අපේ බඩවැලට මේවා ගැලපෙන්නේ නැත. අප වැඩි වැඩියෙන් බෝ නොවන රෝග ගණයේ ලෙඩ වලට බඳුන් වන්නේ මෙකී කරුණු නිසාය.

අපේ මානසික සෞඛ්‍යය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. මේ සෞඛ්‍ය හානියට ඇතැම් මාධ්‍ය ද බලපා ඇති බව පෙනේ. සිත සන්සුන්ව සෟඛ්‍යාරක්‍ෂිතව තබා ගන්නට මාධ්‍ය ඉඩ දෙන්නේ නැත. මා මේ පිළිබඳව වැඩිපුර කියන්නට නොයන්නේ එය සදාචාර සම්පන්න නොවන බැවිනි. මානසික ආතතියෙන් පෙළීම භයානක රෝග ගණනාවක් උපදවන්නට හේතු වේ. මධුමේහය නොහොත් වැඩි දෙනා දන්නා පරිදි දියවැඩියාව (මෙම රෝග නාමය භාවිතා කිරීම වැරදිය) අම්ල පිත්තය හා ආමාශයික ප්රදාහය, අධි රක්ත චාපය, විවිධ හෘදයාබාධ, අන්තර් ගත ආහාර අජීර්ණ වැනි රෝග, විවිධාකාර සමේ රෝග ආදිය මෙහි ලා අවධාරණය කල යුතුය.

රස්සාවට නිදි වරන කොටස් අපේ රටේ බහුලය. වෛද්‍ය උපදේශයන්ගෙන් තොරව විවිධ ඖෂධ පාවිච්චි කරන ජනතාව ලොව කිසිම රටකටත් වඩා අප රටේ බහුල බව ඖෂධ වර්හ ඉස්මතු කරන වෙළඳ දැන්වීම් වලින් වටහා ගත හැකිය. කාර්ය බහුලත්වය නිසාම නිසි පරිදි නින්ද නොලබන අය දුකසේ නිදා ගන්නා අය සමාජයේ පෙරට වඩා දක්නට ලැබේ. වැඩි වැඩියෙන් මෙවුන්දම් සෙවීම සමාජ ව්‍යාධියක් බවට පත්ව ඇති සේය. විවිධ වූ ක්රීඩා වලට යොමු වීම සන්ධි රෝග කාරක විය හැකිය. ජිම්නාස්ටික් වැනි ක්රීඩා විවිධ සටන් ක්රම පුහුණු වීම ආදිය නිසා සන්ධි ආශ්රිතව විවිධ ආපදා සිදු විය හැකි බැවිනි. අපේ රටේ මිනිසුන්ගේ මානසික ගුණ ධර්ම පිරිහී යාම ඔවුන් පහසුවෙන්ම රෝග ග්රස්ථ විය හැකි කාරණයකි. ශාරීරිකව හා මානසිකව යහ පැවැත්මෙන් තොරවූ ජීවිතය අල්පායුෂ්ක බවද ඉතාම පහසුවෙන් රෝග වලට ගොදුරු විය හැකි බවද බටහිර විද්‍යාඥයින් පවා අද වන විට පෙන්වා දී ඇත.

සන්ධි රෝග පිළිබඳ කීමෙදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කාන්තාවන්ගේ ආර්තවාභාවයයි. කාන්තා පක්‍ෂයට මෙම රෝගට වැඩියෙන් වැළඳෙන බව පෙරද කියැවිනි. ඔසප් චක්රය නවතින විට කාන්තා ශරීය තුල හෝමෝන හා එන්සයිම පිළිබඳ ඇතැම් වෙනස්කම් ඇතිවේ. එහි ප්රතිපලයක් ලෙස අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම කලවා බාහු උදර පෙදෙස් වල ඇතිවන තරබාරුව එම නිසා සිරුරේ බර වේගවත්ව වැඩිවීම එම නිසා විශේෂයෙන් දණහිසේ හා වළලූකර සන්ධියේ වේදනා දැවිලි ඉදිමුම් ඇතිවීම ආදී තත්වයන් දක්නා ලැබේ. එවිට දණහිස් නවා මිටි අසුනක හෝ හිඳ ගැනීමටත් නැගිටීමටත් වඩාත් අපහසු වේ. වැඩිපුර ගනන් නොගන්නා කාන්තා රෝගයක් වන ස්වේත ප්රදර හෙවත් සුද යාම රෝගයට නිසි ප්රතිකාරයක් නොකර කල් ගත වූ විටද දනහිස් ආදී සන්ධි ගත ඇතිවන වේදනාකාරී අවස්ථාවක්ද අපට හමුවේ. මෙහිදී සිරුරේ දිරාපත් වීම, ශක්තිය හීන වීම, දත් මුල් දිය වීම, විදුරු මස පැසවීම, යෝනි මාර්ගයෙන් බැහැර වන උකු සෙවල සහිත පදාර්ථ වල සුදු පැහැය කහ පැහැයට හැරීම, උරහිස් දනහිස් ආදී ලොකු සන්ධි සමග ඇඟිලි පුරුක් වැනි කුඩා සන්ධි වල පවා ඇතිවන වේදනාව දැකිය හැකිය. මෙහිදී වයස් පරතරයක් නැතිව තරුණ හා ඔසප් චක්රය නැවතී ගිය වැඩි වයසේදී ද දක්නා ලැබේ. අපේ කාන්තා පක්‍ෂය මේ පිළිබඳවද නිසි අවධානයක් යොමු කල යුතුය.

ශීතය වැඩියෙන් දැනෙන කාලයට සන්ධි වාත රෝගීන්ගේ වේදනාවද වැඩිය. ශීතල වාතයට නිරාවරණය වීම ඊට හේතු ලෙස දැක්විය හැකිය. වර්ෂා කාලයටද මේ රෝගයේ ප්රබලතාවක් දක්නට ලැබේ. වැසිබර සීත සුළඟ වැදීම වැහි වතුර පෑගීම වැනි දෙ ද, එවැනි කාලයක ගෙතුල විදුලි පංකාවෙන් එන සුළඟ වේදනා ඇති කරන සන්ධි වලට වැදීමද සන්ධි වාත රෝගීන්ගේ වේදනාව වැඩි කරයි. නිසි පරිදි නොපැසුනු අමු බවෙන් යුතු ආහාර රසය ලේ සමග එක්ව සිරුරෙහි හැසිරෙද්දී අමු බව නිසාද උපදනා සෙම එ් සමග එක් වීමෙන් ලේ ගමන් කරන මාර්ගයන්හි ගමන් ගනිමින් ආම විෂ තුනටිය පිට කොන්ද හා අනෙකුත් සියලූම සන්ධි පීඩාවට පත් කරයි. එයින් තද බල පීඩාවක් හා දැඩි රුදාවක් ඇතිවේ. සන්ධි බන්දන කලා ප‍්‍රදාහ ඇතිවේ. ස්නායූන්ගේ ප්රදාහයද ඇතිවන බැවින් වේදනා බහුල වේ. තවත් අවස්ථාවකදී දැවුනු පිත නිසා උපදින ආහාර රසය ලෙයට එකතුව ලෙය දූෂණය කර ඉතා දැඩි වාත කෝපයක් උපදවා පාද හා අතේ ඇඟිලි වල කුඩා සන්ධි මැණික් කටු සන්ධි වළලූකර සන්ධි ආක්රමණය කර ඒ තැන් වල දාහය රතු පැහැ වීම ඉදිමුම හා වේදනා ඇති කරයි. මේ අයුරින් එම දෝෂ තත්වය අනිකුත් සන්ධි කරාද ගමන් කරයි. මෙහිදී පිත අධික බැවින් දාහය රතු පාට වීම නොඉවසිය හැකි වේදනාව ඉදිමුම දැකිය හැකිය.

අස්ථි ගත වාත රක්ත රෝගයේදී ද මෙවැනි ලකුණු දැකීමට පුලූවන. එම ලක්‍ෂණ බොහෝ විට පාද මූලයෙන් ඇරඹී පිත අධිකව කිපුණු කල විදාහ හෙවත් තද දැවිල්ල සන්ධි රතු පැහැ ගැන්වීම, ඒ ආශ්රිතව ඉදිමීම දක්නට ලැබේ. මෙය කල්ගත වීමෙන් පා ඇඟිලි හැකිලීම වකුටු වීම විකෘතිතාවට පත්වීම ඒ ආශ්රිතව කුඩා බිබිලි හට ගැනීම, අර්බුද හෙවත් නව ප්රවර්ධන ඇතිවීම ආදිය දක්නට ලැබෙන අතර වෙව්ලීම හිරි වැටීම සීතලට අකමැති වීමද මෙහිදී ඇතිවිය හැකිය. පාද මූලයේද සමහර විටෙක අත් වලද මේ තත්වය ඇතිවන බව පෙනේ. තරුණස්ථි විකෘතියද කල්ගත වීමෙන් දකින්ට ලැබේ. සමෙහි පැන නැගිය හැකි වාත රක්ත රෝගය පසු කාලීනව ඇඟිලි වළලූ කර මැණික් කටුව දණ හිස් සන්ධි ආක්රමණය කරන බව පොත පතේ සඳහන් වේ. සන්ධියෙන් පිටතද සන්ධි අභ්‍යන්තරයේද සන්ධි බන්ධන අතරද පටක අතරද මේ තත්වය ඉපදිය හැකිය. මෙහිදී අර්බුද ඇතිවන බව කියවේ. ඒවා කඩල ඇට මෙන් තරුණස්ථි මත ඇති වී පිටතට නෙරා එන ඒවාය. අස්ථි සන්ධි බිඳීමෙන් සන්ධි පැනීමෙන් ආදී තත්වයන් මතද සන්ධි වාත රෝගය ඇතිවිය හැකිය. එය බොහෝ විට සන්ධි නිශ්චලව තබා ගැනීමෙන් හා ප්රතිකාරයෙන් සමනය වේ. එසේ නැතිනම් ශල්‍ය කර්ම වලට භාජනය කළ යුතු වන්නේය. මේ හැර ගැඹුරු වාත රක්ත රෝගය යැයි නම් කළ රෝගයක්ද ආයුර්වේදයෙහි සඳහන් වේ. වාත රක්තයේදී ශාරීරික වාතයේ ප්රමුඛ සම්බන්ධය ඇත. මෙහිදී ලෙයද දූෂණය වේ. මෙය වැඩි සැප ඇතියනට වැළඳෙතියි ද මතයකි. වාතයෙන් ආවරණය වී දූෂණය වන රක්තය නිසා බලවත්ව උපදනා රෝගයකි. මෙහිදී සිරුර ගත සෝඩියම් පදාර්ථය සෘජුවම සම්බන්ධ වේ. එය ස්ථානික වශයෙන් තරුණාස්ථි ස්නායු (Ligaments) කණ්ඩරා (Tendons) වකුගඩු කණ වැනි තැන් වල පිහිටි තරුණස්ථි ධමනියේ ඇතුලත බිත්ති ආදී තැන්වල එකතු වී විවිධ රෝග ලක්‍ෂණ උපදවයි. මෙවැනි තත්වයකදී රෝගියාට රැුයේදී පා ඇඟිලි ආදී තැනෙක අධික වේදනාවක් ඇතිවිය හැකිය. එය දැවෙන්නාක් බඳු තීව්ර වේදනාවකි. ඒ තැන් පසුව ඉදිමෙයි. සමහර විට ගඩුද පැන නැගිය හැක. යම් කලක එම වේදනා තත්වය වළලූකර හා මැණික් කටුව අතේ ඇඟිළි ආදී තැන් වලට යයි. රෝගියා පීඩාවට පත්ව ඩහදිය වගුරුවයි. ඉන් ටික වේලාවකින් පීඩාව අඩුවේ. පීඩාවට පත් ස්ථානය රතු පැහැයක් ගනියි. පාදයෙන් ආරම්භ වන රෝගය දණහිස් අත පිළිබඳ ලොකු කුඩා සන්ධි ආක්රමණය කරයි. මුලදී සිරුරේ එක් පැත්තකින් නැගී මුළු සිරුරේ ලොකු කුඩා සන්ධි වලට පැමිණ බලවත් පීඩා ඇති කරයි. මෙම රෝගය වේගවත්ය. එක් වරක් වේගවත් වී නැවත සන්සිඳේ. යලිත් සන්ධි වල පීඩා ඇති කරයි. මෙලෙස වරින් වර පීඩා ඇති කරමින්ද සන්සිඳු වමින්ද රෝගාක්රමණය කරන බැවින් සන්ධි වල ස්ථාන විකෘති තත්වයක්ද ඇතිවේ.

මෙහිදී වාතය පිත සෙම හා රක්තය යන ප්රධාන කොටස් 4ම කිපෙන බැවින් අනින්නාක් බඳු වේදනාව කැඞී බිඳී ගියා සේ දැනෙන පීඩාව ඉදිමුම කළු පැහැ බව පීඩාව වරින් වර අඩු වැඩි වීම ඇඟිළි ආදිය හැකිලීම ඇඟ පතේ තද බල රුදාව ඇඟ තද බව වෙව්ලීම හිරි වැටීම ආදී ලක්‍ෂණද පිත ප්රබල නම් දැවිල්ල ඩහදිය වැගිරීම මුලාව මත් බව පිපාසය රුදාව රතු පැහැ වීම හා අධික උෂ්ණත්වයද සෙම ප්රධාන වී නම් ඇඟ පත බර බව වතුරට තෙමුනා සේ දැනීම හිරි වැටීම සිනිඳු බව සීතල කැසිල්ල මන්ද රුදාවද ලෙය බලවත් වී නම් ස්ථානිකව ඉදිමීම තද බල වේදනාව අනින්නාක් බඳු වේදනාව ස්ථානය තඹ පැහැ වීම කැසීම පහසුවෙන් වේදනා සන්සිඳ වීම නොහැකි වීම යන ආදී රෝග ලක්‍ෂණ දක්නට ලැබේ. එහෙත් හැම අවස්ථාවකදීම වාගේ එකම දෝෂයක් පමණක් පැන නොනැගී දෝෂ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ බලවත් විය හැකිය. එවිට යට කී රෝග ලක්‍ෂණ මිශ්රව අඩු වැඩි වශයෙන් පවතී. ග‍්‍රන්ත ගත කරුණු අනුව වාත රක්ත නමින් ගන්නා සන්ධි රෝගය පළමුව කුඩා කුඩා සන්ධීන්හි හට ගෙන පසුව ලොකු සන්ධීන් කරා ක්රමිකව සෙමින් සෙමින් පැතිරී යයි. යම් වාත රක්තයක් සමේ ඉපිද පසුව සන්ධි කරා ගමන් කරන බවද පෙනේ. මෙම රෝග අවස්ථාව පටන් ගැන්මේදී ප්රයත්නයෙත් සුව කර ගත යුතු අතර පැරණි බවට පත් වීමෙන් සුව කල නොහැකි තත්වයට පත්විය හැකිය. මෙවැනි රෝග වලින් වැලකී සිටීම ඒවා සුව කර ගන්නවාට වඩා ලාභදායකයි.

මෙය කියවන රෝගීන්ගේ පහසුව තකා මට එක දෙයක් සඳහන් කල හැකිය. ඒ සඳහා යම් සහනයක් ලබා ගැනීමට සීමාසහිත මෙඩිහර්බ්ස් සමාගම යටතේ නිපදවන වන "ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් පානය" (Gluteala Ayurvedic Herbal Drink) නම් ඖෂධීය පානය දිනකට පැකට් 2 ක් හෝ 3 ක් උදේ සවස නටන උතුරන වතුර කෝප්පයකට දමා නිවෙන තුරු තබා බීම මැනැවැයි ප්රකාශ කළ හැකි අතර එයින් සහනයක් සහ ගුණයක් ලැබෙන බවත් රෝගියාගේ රෝගී තත්වය අනුව රෝගය නිට්ටාවටම සුව වීම සඳහා මනා ප්රතිකාර යෙදිය යුතු බවද සඳහන් කරමි.

කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍්‍යෂක අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 








සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka

No comments:

Post a Comment