Thursday, October 22, 2015

අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික දුබලතා ඇතිවෙන්නේ නැහැ


අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට ලැබෙන්නේ විවිධ වූ ප්‍රතිඵල. ඇතැම් ආහාර උෂ්ණ ආහාර ලෙසත් ඇතැම් ආහාර ශීතල ආහාර ලෙසත් ඇතැම් ඒවා සෙම වඩන ආහාර ලෙසත් හඳුන්වනවා. අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට වන බලපෑම පිළිබඳව ආයුර්වේදයේ දැක්වෙන මතයයි. 

අප ගන්නා ආහාර ශරීරයට බලපාන්නේ කෙසේද?

අප ගන්නා ආහාරවලින් රස, ගුණ, වීර්ය, විපාක ප්‍රභාව යන ගුණ පෙන්නුම් කෙරෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. මෙයින් ’රස’ පිළිබඳව දැක්වීමේදී මධුර, අම්ල, ලවන, කටු, තිත්ත, කෂාය යනුවෙන් රස වර්ග 6ක් (ෂඩ් රස) ඇති බවත් ආයුර්වේදයේ දැක්වෙනවා. ගුණ පිළිබඳව සඳහන් කිරීමේදී ගුණ විස්සක් (20) පිළිබඳව සඳහන් වෙනවා. ආහාරවල මීළඟ ලක්ෂණය වන වීර්ය ලෙස දැක්වෙන්නේ කිසියම් ආහාරයක් ගත් විට එය ශරීරයේ ක්‍රියාකරන ආකාරයයි.


ආහාරයක ශීත, උෂ්ණ බව සඳහන් වන්නේ වීර්ය ලෙස හැඳින්වෙන ලක්ෂණය යටතේ. අප කිසියම් ආහාරයක් කෑමට ගත් පසුව එය ශරීරයට අවශෝෂණය කරගෙන එමඟින් ශරීරය තුළ විවිධ දේ සිදුකරනු ලබනවා. විපාක ලෙස හැඳින්වෙන්නේ එයයි. එමෙන්ම සිදු කළ හැකි විශේෂ ගුණය හැඳින්වෙන්නේ ප්‍රභාව ලෙසයි. ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට ආහාරවල ප්‍රධාන ලක්ෂණ පහ (5) අතරින් ’වීර්ය’ නම් ලක්ෂණය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැන සිටීම ඉතා වැදගත්.

ආහාරයක වීර්ය ගුණය ශීත වීර්ය සහ උෂ්ණ වීර්ය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ශීත වීර්ය උපදවන ආහාර ශීත ආහාර ලෙසත් උෂ්ණ වීර්ය උපදවන ආහාර උෂ්ණ ආහාර ලෙසත් හැඳින්වීමටයි බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ.

ආයුර්වේදයේ එන ප්‍රධානතම කරුණක් වන්නේ අපගේ ශරීරයේ වාතය, පිත, සෙම (කප) ලෙස හැඳින්වෙන තුන් දොස් කිපීමෙන් විවිධ රෝග හටගන්නා බවයි. සෙම වඩන ආහාර ලෙස කිරි, කිරිබත්, මුදවන ලද කිරි, යෝගට්, තැඹිලි, මාළු, කෙසෙල් වර්ග, බිත්තර වැනි ආයුර්වේදයේ දැක්වෙනවා. මෙම ආහාර ගැනීම නිසාත් වැඩියෙන් ආහාර ගැනීම නිසාත් ව්‍යායාම නොකර සිටීම නිසාත් බොහෝ වේලාවක් එකම ස්ථානයක හිඳගෙන සිටින නිසාත් ශරීරයේ සෙම ස්වභාවය වැඩිවෙනවා.

ධාන්‍ය වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම ශරීරයේ සෙම වැඩි කරන අතරම ශරීරයේ වාතයත් වැඩිකිරීමට හේතු වෙනවා. විශේෂයෙන් කඩල, කොල්ලු, කව්පි වැනි ධාන්‍ය වාතය වැඩි කරන ආහාරයි. මිරිස්, කෙලවල්ලන් මාළු, බලමාළු වැනි ආහාර ගැනීම ශරීරයේ පිත ස්වභාවය වැඩිවීමට හේතුවක්.

අප සැමවිටම ආහාර ගත යුත්තේ ශරීරයේ වාතය, පිත, කප (සෙම) නොකිපෙන ආකාරයෙන්. යම් යම් ආහාර ගත යුතු දිනයන් ද දිනයේ සුදුසු වේලාවන් ද ආයුර්වේදයේ දැක්වෙනවා. ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට අප ගන්නා ආහාර අපගේ මනසේ ස්වභාවය වෙනස්වීමටත් බලපානවා. සත්ව, සමත්, රජස් යනුවෙන් මනසේ තත්ත්ව තුනක් තිබෙනවා. සත්ව ගුණය යනු කරුණාව, මෛත්‍රිය, ඊර්ෂ්‍යාවෙන් තොරවීම වැනි ලක්ෂණ. කිරි, එළඟි තෙල්, ගොටු කොළ, ලුණුවිල වැනි ආහාර සත්ව ගුණය වැඩි කරන ආහාර. මනසේ පවතින තවත් ගුණයක් වන්නේ රජස් ස්වභාවයයි. රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ගති ලක්ෂණ මෙයට අයත්. මස්, මාළු, මත්පැන්, සුදුලූනු වැනි ආහාරවලින් මනසේ රජස් ස්වභාවය වැඩිවෙනවා. මනසේ ඊළඟ ලක්ෂණය වන්නේ සමත් ගුණයයි.

මෙය සෙමට අයත් ගුණයයි. ශරීරයේ සෙම ස්වභාවය වැඩි පුද්ගලයින් වෙතින් පෙන්නුම් කෙරෙන ගති ලක්ෂණ කීපයක් තිබෙනවා. නිද්‍රාශීලී බව, අලසකම, කය වෙහෙසා වැඩ කිරීමට ඇති අකැමැත්ත, යමක් පිළිබඳව සිතීමට පවා ඇති අකැමැත්ත එම ගති ලක්ෂණ. බිත්තර ශරීරයේ අලස ස්වභාවය වර්ධනය කිරීමට සමත් ආහාරයක්. එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා බත් සමඟ මුසු කොට හෝ ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. එමඟින් මනසේ පිබිදීමක් ඇතිවී අලස ස්වභාවය පහව යනවා. එළඟි තෙල් ආහාර හොඳින් දිරවීමට ද උපකාරී වන ආහාරයක්. එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා ආහාරයට ගැනීම කොලොස්ටරෝල් මේදය වැඩිවීමට හේතුවක් වන්නේ නෑ.

ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට මොළය, හෘදයවස්තුව, වකුගඩු වැනි ශරීරයේ ප්‍රධාන අවයවයන් ආරක්ෂා වන අයුරිනුයි අප ආහාර පාන ලබාගත යුත්තේ.

එළකිරි පානය ශරීරයට හිතකරද?

එළකිරිවල තිබෙන ගුණය පිළිබඳව ආයුර්වේදයේ විශේෂයෙන් සඳහන් වෙනවා. එළකිරිවලින් සාදාගන්නා පස්ගෝරස නීරෝගී ජීවිතයකට ඉතා ප්‍රයෝජනවත් ආහාරයි. ඉන්දියාවේ සෑම පුද්ගලයකු ම පාහේ දිනකට දියරකිරි බෝතල් දෙකක් පමණ පානය කරන බව පැවසෙනවා. කිරි පානය කරන ඕනෑම අයකුට සෙම වැඩිවෙනවා යයි කීම වැරදි මතයක්. අවේලාවේ කිරි පානය කිරීමත් සීතල කිරි පානය කිරීමත් ශරීරයේ සෙම ස්වභාවය යම් පමණකට වැඩි පුද්ගලයින් කිරි පානය කිරීමත් සෙම වැඩිවීමට හේතුවෙනවා. කිරිවලට යම් යම් ද්‍රව්‍ය එක්කරගෙන හොඳින් රත්කරගෙන පානය කිරීමෙන් කිරි පානය නිසා සෙම ඇතිවීම වළකා ගත හැකියි.


වියළි ඉඟුරු කුඩු ස්වල්පයක් හෝ වියලා කුඩු කරගන්නා ලද කලාඳුරු ස්වල්පයක් කිරි වීදුරුවකට එක්කර ගැනීම මඟින් කිරි පානයෙන් සෙම වැඩිවීම වළක්වා ගත හැකියි. කිරිවලට අධික ලෙස සීනි එක් කිරීමෙන් ද සෙම වැඩිවෙනවා. සාමාන්‍යයෙන් දියර කිරිවල සීනි යම් ප්‍රමාණයක් අඩංගුයි. කිරිවල ස්වභාවිකවම අඩංගු එම සීනි ප්‍රමාණයට හුරුවීම කිරි බීමෙන් සෙම ඇතිවීම වළක්වා ගැනීමට තවත් එක් පියවරක්. අපේ රටේ වැඩිපුරම පිටිකිරි ලෙස විකිණීමට තිබෙන්නේ යොදය සාරය ඉවත් කර කෘත්‍රිමව යම් යම් ද්‍රව්‍ය දැමූ පිටි කිරි. එම පිටි කිරි පානයට වඩා දියර කිරි පානය ඉතාම ප්‍රයෝජනවත්.

හෘදයට ගුණදෙන ආහාර මොනවාද?

ගොරකා, සියඹලා, පැණි දොඩම්, ඇඹුල් දොඩම්, නාරං වැනි පැඟිරි වර්ග, කාමරංගා, අඹ, ඇඹරැල්ලා, දෙළුම් හෘද රෝග නැති කරන ප්‍රධාන ආහාරයි. එමෙන්ම මොළයේ වර්ධනයට කිරි, ගිතෙල්, ගොටුකොළ, අලවර්ග ආදිය ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා උපකාරී වන ආහාර වර්ග ලෙස කැකිරි, වට්ටක්කා, පිපිඤ්ඤා, සියඹලා, කොමඩු, රාබු වැනි ආහාර වැඩියෙන් ගැනීම සුදුසුයි. මෙම ආහාර වකුගඩු පිරිසිදු කිරීමේ සහ වකුගඩුවලින් කෙරෙන කාර්ය පහසු කිරීමේ ගුණයෙන් අනූනයි. එමෙන්ම එම ආහාරවලින් වකුගඩුවල මෙන්ම මුත්‍රාශයේ ද ගල් ඇතිවීම වළක්වනවා.
වර්තමානයේ බොහෝ දෙනෙක් පානයට පුරුදුවී සිටින කෘත්‍රිම බීම වර්ග පිළිකා කාරක ගුණයෙන් යුක්ත බව හෙළිවී තිබෙනවා. පිළිකා ඇතිවීමෙන් වැළකී සිටීමට ඉතා ගුණ ආහාර වර්ග ලෙස කතුරුමුරුංගා කොළ, අන්නාසි, මයියොක්කා වැනි විවිධ අල වර්ග, කෙසෙල්මුව, කෙසෙල්බඩ, කොහිල වැනි කෙඳි සහිත ආහාර නිතර කෑමට ගැනීම ඉතාම සුදුසුයි. මෙහිදී නෙළුම් අල ද ඉතාම සුදුසු ආහාරයක් වුවත් වී වගාවට යොදන කෘෂි රසායන වැව්වල ඇති නෙළුම් අලවලට ද එක්වීම නිසා ඇතැම් නෙළුම් අලවල විෂ ද්‍රව්‍ය තිබෙනවා. මෙය මඟහරවා ගැනීමට නෙළුම් ගෙවත්තේ කුඩා පොකුණුවල වවාගන්නේ නම් ඉතා සුදුසුයි.

කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම වැඩිවෙනවාද?

ඇඹුල් කෙසෙල් වැඩියෙන් ආහාරයට ගත් විට ඇදුම, පීනස, කුෂ්ඨ රෝග වර්ධනය වෙනවා. එසේ වන්නේ එම රෝග ශරීරයේ නිදන්ගත වී ඇත්නම් පමණයි. එම රෝග නොමැති පුද්ගලයන්ට ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. ඇඹුල් කෙසෙල් සවස් වරුවේ ආහාරයට ගත්විට ශරීරයේ සෙම වැඩිවෙනවා. සෑම කෙසෙල් වර්ගයකම සීනි තිබෙනවා. ඇම්බුං, කෝලිකුට්ටු වැනි කෙසෙල් වර්ගවල සීනි බහුලයි. එමනිසා දියවැඩියා රෝගීන් හට එම කෙසෙල් වර්ග දෙක නුසුදුසුයි. ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, ලංකාවේ ආනමාලු වැනි කෙසෙල් වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසුයි.

නේත්‍රපලම් කෙසෙල් ඉතා හොඳ වාජීකරණ පලතුරක්. එමෙන්ම කුඩා ළමයින්ගේ වර්ධනයට ද නේත්‍රපලම් ආහාරයට ගැනීම සුදුසුයි. ශරීරයේ විෂ නැසීමේ ගුණය කෙසෙල්වල අඩංගුයි. අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික ශක්තිය දුර්වල වන බවට මතයක් සමාජයේ තිබුණත් ආයුර්වේදයේ ඒ බව සඳහන් වන්නේ නෑ. ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර ලෙස කිරි, මුදවන ලද කිරි, වැල් පෙනෙල, එළඟි තෙල් වැනි ආහාර සුදුසු බවයි ආයුර්වේදයේ දැක්වෙන්නේ. වැල් පෙනෙල කැඳ ලෙසත් මැල්ලුම් ලෙසත් ආහාරයට ගත හැකියි. වැල් පෙනෙල අධි රුධිර පීඩනය අඩු කිරීමටත් මලබද්ධය නැති කිරීමටත් උපකාරී වන අගනා ඖෂධීය ආහාරයක්.

හැකි සෑම පුද්ගලයකුම උදෑසන කොළකැඳ කෝප්පයක් පානය කිරීම ඉතාම වැදගත්. එමෙන්ම දවාලට හෝ රාත්‍රියට තැම්බුම් හොද්දක් පානය කිරීම සුදුසුයි. තැම්බුම් හොද්දේ තිබෙන ගොරකා මඟින් කොලොස්ටරෝල් මේදය අඩු කරන අතර එහි අඩංගු අබ, කුරුඳු පොතු, සේර, කරපිංචා, සුදුලූනු වැනි ද්‍රව්‍ය හෘදය රෝගවලින් ආරක්ෂා කරනවා. ආයුර්වේදයේ ආහාර ගන්නා ආකාරය සහ සුදුසු ස්ථාන පිළිබඳව ද දක්වා තිබෙනවා.

ආයුර්වේදයේ දැක්වෙන්නේ පිරිසිදු ස්ථානයක මල් ආදිය තබාගෙන කතා නොකර ආහාර ගත යුතු බවයි. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම ඉතා නුසුදුසු ක්‍රියාවක්. එමෙන්ම ආහාර හොඳින් සපා කෑමත් වැදගත්. එය ආහාර ජීර්ණයට උපකාර වන අතර මුහුණේ මාංශපේශී එල්ලා වැටීමෙන් තොරවී ශක්තිමත් වීමට ද හේතු වෙනවා.

ආහාර පිළිබඳව තවත් ඉතා වැදගත් අදහසක් ආයුර්වේදයේ දැක්වෙනවා. ඒ; දියර කිරි සහ පලතුරු ද, දියර කිරි සහ මස් ද, දියර කිරි සහ මාළු එකට ආහාරයට නොගත යුතු බවයි. ඒවා විරුද්ධ ආහාර. එලෙස විරුද්ධ ආහාර ගැනීම දද, කුෂ්ඨ, පොතු කබර වැනි රෝගාබාධ ඇතිවීමට හේතු වන බවත් ආයුර්වේදයේ දැක්වෙනවා. එහෙත් මුදවන ලද කිරි ඉහත ආහාර සමඟ ගැනීමේ වරදක් නෑ.


විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
උපාලි පිලපිටිය





සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka




No comments:

Post a Comment